1. 08.06

මාධ්‍ය නිවේදනය

විරෝධතාවල නිරත පිරිස් අනීතිකව අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

ජනතාවට බලපාන  පොදු ගැටලු  සහ තමන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල යෙදුණු සංවිධාන සහ වෘත්තිය සංගම් නායකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කරන නීති විරෝධී ආකාරය දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙමඟින් උත්සාහ කරන්නේ රට තුළ භීතියක් ඇති කරමින් පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව නගන හඩ යටපත් කිරීමටදැයි ප්‍රශ්න කර සිටී.

අගෝස්තු 04 වැනිදා සිය වැටුප් අර්බුදය මුල් කරගනිමින් කොළඹදී විරෝධතාවක නිරතව ආපසු යමින් සිටි ගුරුවරුන් 36 දෙනෙකු ඇතුළත් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන වරාය පොලීසියේ රඳවා තිබූ අතර ඔවුන් මුණ ගැසීමට එහි ගිය විපක්ෂ නායකවරයාට එම අවස්ථාව අහිමි කර තිබිණ. අගෝස්තු 05 වෙනිදා කොටුව මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කළ එම පිරිස පුද්ගල ඇප මත මුදා හරින ලද්දේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය විසින් කරනු ලැබූ  ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමිනි.

මෙම අත්අඩංගුවට ගැනීම්වල නවතම සිදුවීම වන්නේ කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමයි. අගෝස්තු 05 වැනිදා රාත්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වී (අගෝස්තු 06 අළුයම)  ආපසු යමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේද සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. සිසුවාගේ දැඩි ප්‍රශ්න කිරීම් නිසා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරියකු එම කටයුත්තට මැදිහත් වේ. මේ වනවිට එම විරෝධතාවලට සම්බන්ධව සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. කොතලාවල පනතට එරෙහි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

මේ වනවිට කොවිඩ් – 19 වසංගත තත්ත්වයට රට දරුණු ලෙස ගොදුරු වෙමින් පැවතියද ඊට මුවාවෙමින් හෝ වෙනත් හේතු දක්වමින් ජනතාවට බලපාන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා කරන විරෝධතා මැඩ පැවැත්වීම හා ඒවාට නායකත්වයට දෙන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි.  එසේම රජයේ ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ද නිරෝධායන නීති උල්ලංඝනය කරන අවස්ථා ඇතත් ඒවාට එරෙහිව සාමාන්‍ය ජනතාව වෙත එල්ල වන මර්දනය දියත් නොවේ. එම නිසා ගැටලුවලට පිළියම් සෙවිය යුත්තේ කොවිඩ් නිරෝධායන රීති දඩමීමා කරගෙන අදහස් මර්දනය කිරීමෙන් නොවන අතර නීතිය ඉක්මවා ක්‍රියා කිරීමෙන් නොවන  බව ද පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනතාව ත්‍රස්ත කරවන සියලු ආකාරයේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලින් රටට යහපතක් නොවන බවද අවධාරණය කර සිටී.

 

සීතා රංජනී     

කැඳවුම්කරු                                                             

ලසන්ත ද සිල්වා

ලේකම්