මැයි 03 වැනිදාට යෙදුණු ‘ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය‘ නිමිත්තෙන් පැවති සංවාද මණ්ඩපයකදී  කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් ‘මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ’ මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත ඔබේ අවධානය සඳහා මේ සමඟ යොමු කරමු.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රකාශනයක් වන ‘2020- ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වාර්ෂික වාර්තාව- සිදුවීම් සහ ප්‍රවණතා’  වාර්තාව හඳුන්වාදීම  පදනම් කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ මෙම සංවාද මණ්ඩපය පැවැත්විණි.

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝකයේ ප්‍රමුඛ දර්ශක හා ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අවධානයට ලක් කළ යුතු පැතිකඩ පිළිබඳව මෙම දේශනයෙන් මතු කෙරෙන කරුණු මාධ්‍ය සමාජයේ මෙන්ම පුළුල් පාඨක ප්‍රජාවගේද අවධානයට ලක් විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් කරයි. ඒ සඳහා ඔබේ මාධ්‍ය ආයතනයේ සහාය අපේක්ෂා කරමු.

———————————————————

මාධ්‍ය නිදහස තක්සේරු කළ හැකි පැතිකඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ

ඉතාමත් වැදගත් කාර්යකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මුල පුරා තිබෙනවා. එවැනි අවස්ථාවක මටත් ඊට දායක වීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ස්තුතිවන්ත වෙනවා.

අද දින සමරන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය කිහිප ආකාරයකින් සුවිශේෂයි. එක් අතකින් කෝවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ ‘තොරතුරු වසංගතය’කටත් මුහුණ දීමට සිදු වී තිබෙනවා. වැරදි තොරතුරු, නොමඟ යවන තොරතුරු, ජනතාව අපහසුතාවට පත් වන තොරතුරු විශේෂයෙන්ම සාම්ප්‍රදායික මාධ්‍යයන්ගෙන් මෙන්ම නව මාධ්‍යයන්ගෙන්ද බහුලව පැතිරී යන යුගයක තමයි අද අපි ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරන්නේ.

මාධ්‍ය නිදහස පිළිබඳ සංකල්පය ජනිත වූයේ ලොව පුරා වර්ධනය වූ බල දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසට යැයි කිව හැකියි. 1948 විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වන වගන්තිය පදනම් කොට ගෙන විශාල සංවාදයක් ඇති වුණා. ධනවාදී හා සමාජවාදි වශයෙන් ලෝකයේ ඇති වූ බෙදීම සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම කාන්දු වුණා වගේම මාධ්‍ය ක්ෂේත්‍රයටත් කාන්දු වුණා. මහ පොළොවේ යුද්ධයක් නොතිබුණාට සීතල යුද්ධයක් තිබුණ අතර මාධ්‍යයත් එහි කොටසක් බවට පත් වුණා.

මෙම පසුබිම තුළ මාධ්‍ය නිදහස එම යුද්ධයේම කොටසක් බවට පසුගිය දශක හතක කාලය තුළ පත් වුණා. ලෝකය දෙකට බෙදුණ අවස්ථාවේ අනිත් සමාජත් දෙකට බෙදුණ අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාජයත් දෙකට බෙදුණා. ධනවාදී කඳවුරත් එක්ක එක මාධ්‍ය සමාජයක් හැදෙන කොට, සමාජවාදී සමාජයත් එක්ක තවත් මාධ්‍ය සමාජයක් ගොඩනැගුණා.

මෙම කඳවුරු දෙකම නොයෙකුත් න්‍යාත්මක පදනම් මත පිහිටා මාධ්‍ය නිදහස විශ්ලේෂණය කරන්නට උත්සාහ ගත්තා. උදාහරණයක් හැටියට අයි.එෆ්.ජේ. කියලා සංවිධානයක් හැදෙන කොට අයි.එෆ්.ඕ. කියලා ඊට ප්‍රතිවිරුද්ධ සංවිධානයක් හැදුණා. මෙම කණ්ඩායම් දෙකම ජනමාධ්‍ය නිදහස ගැන කථා කරන්නට පටන් ගත්තා.

මෙම අවස්ථාවට සහභාගි වීමට ආරාධනා කළ අවස්ථාවේ මාධ්‍ය නිදහස නිරීක්ෂණය පිණිස යොදා ගන්නා නිර්ණායක පිළිබඳ විවේචනාත්මක අදහස් දැක්වීමක් කළ යුතුයැයි මා අදහස් කළා. නමුත් ඒ පිළිබඳව අධ්‍යනය කළ විට පෙනී ගියේ ඒ කාර්ය මේ වන විට බොහෝ දෙනෙක් ඉතා හොඳින් ඉටු කර තිබෙන බවයි. මාධ්‍ය දර්ශකය සමග ඒ ඒ රටවල තිබෙන සමාජ ආර්ථික දර්ශක, සතුට පිළිබඳ දර්ශක පිළිබඳ සමාලෝචනයක් කිරීමයි මගේ අරමුණ වුණේ. නමුත් පරීක්ෂා කර බැලීමේදී ඒ වගේ දේවල් දැනටමත් කර තිබෙනවා.

මේ නිසා දැනට ලොව පුරා භාවිත වන මාධ්‍ය දර්ශක කිහිපයක් තෝරා ගෙන ඒ ඇසුරෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර ඇති මාධ්‍ය දර්ශකයට අදහස් කිහිපයක් එකතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

මේ වන විට ලොව පුරා ප්‍රධාන මාධ්‍ය දර්ශක පහක් තිබෙනවා. ‘Freedom of Press’ නමින් ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොට ගෙන ඇති Freedom House මාධ්‍ය දර්ශකය කාටත් හුරු පුරුදුයි. RSF හෙවත් සීමා මායිම් නැති මාධ්‍යවේදීන්ගේ සංවිධානය නම් ප්‍රංශ සංවිධානයත් මාධ්‍ය දර්ශක පදනම් කොට ගෙන මාධ්‍ය නිදහස නිරීක්ෂණය කරනවා. මේ ආයතන දෙකම වාර්ෂික වාර්තා සම්පාදනය කරන අතර යම් යම් මිනුම් දඬු පදනම් කොට ගෙන රට රටවල මාධ්‍ය නිදහස තක්සේරු කරනවා. IREX සංවිධානය විසින් ඉදිරිපත් කරන Media Sustainability Index වාර්තාව ‌2021 වර්ෂයේදී Information Barometer නිකුත් කිරීමට නියමිතයි. Afrobarometer නමින් අප්‍රිකානු රටවල මාධ්‍ය නිදහස තක්සේරු කරමින් පළ කරන මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තා සමූහයක් තිබෙනවා. මෙය අප්‍රිකානු රටවල් ආශ්‍රයෙන් ගොඩනගන දර්ශක සමූහයක් මත පදනම්ව ඉදිරිපත් කරන වාර්තා මාලාවක්. මීට අමතරව යුනෙස්කෝව මගින් සකස් කර තිබෙන Media Development Index එකත් භාවිත වෙනවා.

මේ දර්ශක පහම එකිනෙකට වෙනස් විධියට මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳව, මාධ්‍ය නිදහස පිළිබඳව අදහස් දක්වමින්, මත පළ කරමින්, යෝජනා ඉදිරිපත් කරමින් පසුගිය දශක කිහිපය තුළ මාධ්‍ය වාර්තා පළ කොට තිබෙනවා. මෙයින් Freedom House, RSF, IREX හා අප්‍රිකානු බැරෝ මීටරය මාධ්‍ය නිදහස නිරීක්ෂණය ‌කොට ඊට යම්කිසි තක්සේරු සංඛ්‍යාත්මක අගයක් එහෙම නැත්නම් ප්‍රමාණාත්මක අගයක් මත මාධ්‍ය නිදහස විග්‍රහ කරනවා. නමුත් යුනෙස්කෝව ඉදිරිපත් කරන මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශක ගුණාත්මක බව මත පදනම්ව මාධ්‍ය නිදහස විග්‍රහ කරනවා.

මෙම දර්ශක පහේම සමාන අසමානකම් හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම මෙම මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තා නොයෙකුත් රටවල පිළිගැනීමට මෙන්ම විවේචනයටත් ලක් වී තිබෙනවා.1980 සිට පළ කරන Freedom of the Press නම් වාර්තාව කොටස් තුනකින් විමසා බැලීම කරනවා. රටක තත්ත්වය නිතීමය, දේශපාලන පරිසරය හා ආර්ථික පරිසරය මාධ්‍යයට බලපාන ආකාරය ගැන විමසා බැලීමක් කරනවා. නිර්ණායක 23ක් හදලා ඒ යටතේ තවත් අනු කාණ්ඩ යටතේ නිර්ණායක 109 යොදලා තමයි Fredom House යම් රටක මාධ්‍ය නිදහස කවර මට්ටමක තිබෙනවාද කියා මැන බලන්නේ. Freedom House මැන බැලීමට අනුව ඔවුන් යම්කිසි රටක මාධ්‍ය නිදහස පූර්ණ වශයෙන් නිදහස්, අර්ධ වශයෙන් නිදහස් සහ නිදහසින් තොර යනුවෙන් වර්ග කිරීමකට ලක් කරනවා. රටවල් 180ක් පමණ නිරීක්ෂණය කරන අතර ලංකාව තබා තිබෙන්නේ ඉන් අර්ධ වශයෙන් නිදහස් යන කොටස තුළ. ලංකාවට ලැබී තිබුණු අගය 126-127 වශයෙන් දක්වා තිබෙනවා. මට අවධාරණය කිරීමට අවශ්‍ය වූයේ නීතිමය පරිසරය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීති ක්‍රමය ගැනත්, දේශපාලනයේදී වාරණයන්ට බලපාන ආකාරයත්, ආර්ථිකයේදී බදු මුදල්, දැන්වීම් ගාස්තු වැනි විවිධ පැතිවලින් විමසා බලා ලකුණු දීමේ ක්‍රමයක්, එසේත් නැත්නම් ගණනය කිරීමක් සිදු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් යම් චෝදනාත් තිබෙනවා. ඇමරිකානු රජය මෙම ආයතනයේ පිරිවැයෙන් යම් කිසි කොටසක් දරන නිසා ඇමරිකානු රජයට පක්ෂපාතී ස්වභාවයක් ඇතැයි විවේචනයක් පවතිනවා. එපමණක් නොව ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විට Freedom House වාර්තාවේ අඩංගු නිර්ණායක පාවිචිච් කිරීමත් දක්නට ලැබනෙවා.

අපි RSF සංවිධානය ගතහොත් ඔවුන්ගේ නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රශ්න 87ක් ලෙසට ඉදිරිපත් කරනවා. ඒවාට ලැබෙන පිළිතුරු ආශ්‍රයෙන් තමයි ඒ ඒ රටවල මාධ්‍ය නිදහසේ සීමාව ලකුණු කරනු ලබන්නේ. මෙම වාර්තා සම්පාදනයේදී ඔවුන් ඒ ඒ රටවල්වලින් වාර්තා ලබා ගන්නවා පමණක් නොව විශේෂඥයින් පවා සහභාගි කර ගන්නවා. ඒ අනුව යම්කිසි රටකට මාධ්‍ය නිදහසේ හිමි වන ස්ථානය තීරණය කරනු ලබනවා. RSF සංවිධානය මෙම වාර්තා සම්පාදනයේදී දායක කර ගන්නේ ප්‍රංශ මාධ්‍යවේදීන් හා ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්. ප්‍රංශ සංවර්ධන ඒජන්සිය ඒ සඳහා අරමුදල් සපයනවා.

ලෝකයේ මෙම දර්ශක දෙක තමයි අඩුවැඩි වශයෙන් ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස නිර්ණායක මත පදනම්ව තක්සේරු වාර්තා ඉදිරිපත් කරනු ලබන්නේ. අපි තුන්වන මාධ්‍ය දර්ශකය වන Media Sustanibility Index එකට ගියොත් මෙම දර්ශකයටත් අපි කලින් ඉදිරිපත් කළ චෝදනාවම ඉදිරිපත් වෙනවා. මෙම සංවිධානය වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්නේ පැරණි සෝවියට් දේශයට අයත් රාජ්‍යයන්හි මාධ්‍ය  නිදහස පිළිබඳව වීමත් මෙම සංවිධානයට ලැබෙන අරමුදල් වලින් 75%ක් පමණ ලැබෙන්නේ ඇමරිකානු රජයෙන් වීමත් ඊට හේතු වෙනවා. මීට අමතරව ඔවුන් වෙනත් රටවල් සම්බන්ධයෙන්ද වාර්තා ඉදිරිපත් කරන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තා ඉදිරිපත් කරනවා. ඒ සඳහා IREX සංවිධානය පාවිච්චි කරන්නේ එකින් එකට වෙනස් අරමුණු තිබෙන දර්ශක හතළිහක්.

මීට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවා ෆෙඩ්රික් ඊබට් පදනම විසින් අරමුදල් සපයන Afrobarometer දර්ශකය මත අප්‍රිකානු මහාද්වීපයේ තෝරා ගත් රටවල් සඳහා සකස් කරන වාර්තාව. ෆෙඩ්රික් ඊබට් පදනම ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ධ ආයතනයක්. ජර්මන් දේශපාලනඥයන් මෙම ආයතනයේ පාලක මණ්ඩලයේ ප්‍රධාන වගකීම් දරනවා.

Afrobarometer දර්ශකය පදනම් කොට ගෙන අප්‍රිකානු රාජ්‍යන් ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් දර්ශක 39ක් පාවිචිචි කරනවා. වාර්තාව සැපයීමේදී ඒ ඒ රටවල සිටින නීති විශාරදයින් ඇතුළු බුද්ධිමතුන්ගේ ප්‍රතිචාර ලබා ගනිමින් තමයි අවසාන වාර්තා සකස් වන්නේ.

2020 වර්ෂය සඳහා ඔවුන් වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළේ සිම්බාබ්වේ රාජ්‍යය සම්බන්ධයෙන්. Afrobarometer නම් වාර්තා සමූහය මහජන සේවා මාධ්‍ය ප්‍රවර්ධනය පිණිස යම්කිසි නැඹුරුවකින් කටයුතු කරනවා. ඊට හේතුව අප්‍රිකානු රාජ්‍යයන් බොහොමයක මාධ්‍යයන් රාජ්‍ය මාධ්‍ය ලෙසට තිබීමයි. විවිධ අප්‍රිකානු රටවල රාජ්‍ය මාධ්‍යයන් මහජන සේවා මාධ්‍යයන් බවට හරවන්නේ කෙසේද යන ගැටලුව ගැන ඔවුන් නිරන්තරයෙන් අවධානය යොමු කොට තිබෙනවා.

යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් කර  තිබෙන Media Development Index ඉහත කී දර්ශක සියල්ලටම වඩා වෙනස් සවරූපයක් ගන්නවා. ඔවුන්ගේ මූලික ප්‍රධාන නිර්ණායක 5ක් තිබෙන අතර අනු නිර්ණායක 111ක් තිබෙනවා. සියලුම නිර්ණායකයන්ට ආදාළව තෝරා ගත් රාජ්‍යයේ තත්ත්වය විමසා බැලීමෙන් පසු යුනෙස්කෝව සිය වාර්තා නිකුත් කරනු ලබනවා. 2017දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අපත් දායක වීම නිසා අපිටත් ඒ පිළිබඳ අත්දැකීමක් තිබෙනවා.

මෙම දර්ශක පහ සම්බන්ධයෙන් සාධක  තුනක්,  එනම් තාක්ෂණය, නීතිය හා න්‍යායාත්මක ප්‍රවාදයන් මාධ්‍ය නිදහස කෙරෙහි බලපෑවේ කෙසේද යන්න සමාලෝචනයට ලක් කළ හැකියි. මුද්‍රණ යන්ත්‍රය සොයා ගත් අවදියේ පටන් පසුව මුද්‍රණය කරනු ලබන ප්‍රකාශනයන්ට අවසර ලබා ගත ස්ථානයේ සිට නව තාක්ෂණික උපාංගවලට බලපත්‍ර ලබා ගත යුතු අවස්ථාව දක්වා ප්‍රකාශනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන වර්ධනයන්, නීතිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, විවිධ කාලවල පනවනු ලබන නියාමන නීති රීති, රෙගුලාසි මෙන්ම නොයෙකුත් බුද්ධිමතුන් විසින් නොයෙකුත් ආකාරයට මාධ්‍ය නිදහස විග්‍රහ කිරීමත් ඔස්සේ යන සාධක මාධ්‍ය නිදහස කෙරෙහි බලපෑවේ කෙසේද යන්න සාකච්ඡා කළ හැකියි.

අප විසින් විවිධ දර්ශක මත පදනම්ව ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය නිදහස පිළිබඳ විශ්ලේෂණ නිසා කැලඹිලි කැරලි කෝලාහල ඇති විය හැකියි. සමහර රටවල මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ තමන් සිටින ස්ථානය පහළට ඇද වැටුණහොත් එම රටවල ආණ්ඩු නිර්දය ලෙස විවේචනයට භාජනය වෙනවා. විපක්ෂ දේශපාලන පක්ෂ විසින් එවැනි අවස්ථා පෙන්වා දෙමින් ආණ්ඩු විවේචනය කරනු ලැබිය හැකියි. මෙම දර්ශක යම් කිසි දේශපාලන ක්‍රියාවලියක් හා සම්බන්ධයි. මාධ්‍ය නිදහස හුදකලා රාමුවක් තුළ විශ්ලේෂණය වන්නේ නැහැ. නිරීක්ෂණයට ලක් කරන රාජ්‍යයේ දේශපාලන සන්දර්භයට අඩංගු සාධක විසින් ඇති කර තිබෙන තත්ත්වයන්  මාධ්‍ය දර්ශක විසින් තක්සේරු කරනු ලබනවා.

මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික වාර්තාවේ ඉදිරිපත් කර තිබෙන කාරණයක් නම් Laura Schneider  නම් පර්යේෂිකාව විසින් ඉහත කී මාධ්‍ය දර්ශකයන් පහම විචාරයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති ‘Measuring Global Media Freedom(2020)’යි. මෙම විශ්ලේෂකය අනුව රජය පමණක් නොව පෞද්ගලික අංශයද මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තිබෙන වගකීම අවධාරණය කෙරෙනවා. ඇය සංරචක 7ක් ඔස්සේ  දර්ශක 68ක් යෝජනා කරන අතර මම ඉන්  මම 6 වන සංරචකය යටතේ ඇති වෘත්තීමයභාවය තෝරා ගැනීමට සතුටුයි මෙම කතිකාව සඳහා.

එම කොටස් කිහිපය මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්න කැමතියි. පළමු කොටස ජනමාධ්‍ය අධ්‍යාපනයයි. මෙම දර්ශකය යටතේ කියවෙන කාරණය අතිශය විවාදයට තුඩු දුන් කාරණයක්. ජනමාධ්‍යවේදීන්ට අවම අධ්‍යාපනයක් පිළිබඳ කොන්දේසි පැනවීමට නොහැකියි. එසේ වුවහොත් එම කොන්දේසි සම්පුර්ණ කළ නොහැකි අයට වාරණයක් පැනවීමක් සීමා කිරීමක් ලෙස දකින්නට පුළුවන්. මාධ්‍ය වෘත්තිකයෙක් වුණාට පසු ඒ පිළිබඳ යම්කිසි හැදැරීමක් කිරීමට අවශ්‍ය පහසුකම් ටික තිබෙන්නට ඕන. වෙනත් වෘත්තීන්හි එම වෘත්තියට පිවිසෙන විට  ලබා ගත යුතු වරලත් තත්ත්වයන් තිබෙනවා. මාධ්‍යවේදීන්ටත් එවැනි අධ්‍යාපනයක් ලබා ගැනීම පිණිස ක්‍රමවේද සකස් විය යුතුයි. Laura Schneider විසින් මතු කරන කාරණය නම් මාධ්‍ය නිදහසේ හැඩය තීරණය කරන මාධ්‍ය අධ්‍යාපනය, මාධ්‍ය නිදහස තක්සේරු කරන දර්ශකයක් විය යුතු බවයි.

ජනමාධ්‍යවේදීන්ට සමාජයේ ඉහළ පිළිගැනීමක් ගැන කථා කළාට ජනමාධ්‍යවේදියාට සිය වැඩ කරන පරිසරය කවර ආකාර එකක් දැයි ඔබ සියලු දෙනාම හොඳින්ම දන්නවා. ආසන්නම තත්ත්වය සැලකිල්ලට ගතහොත් මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් සේවයට කැඳවනවා. නමුත් කෝඩවිඩ්-19 හඳුනා ගැනීම පිණිස පී.සී.ආර්. පරීක්ෂණය පවත්වන්නට ඉඩ දෙන්නේ නැහැ, ඔවුන් අනිවාර්යෙන්ම පොසිටව් වන නිසා. මාධ්‍යවේදීන් කර්මාන්ත සේවක අයිතිවාසිකම් ගැන, අර්ථසාධක ප්‍රශ්න ගැන බොහෝ ලියනවා. නමුත් මාධ්‍ය කර්මාන්තය ඇතුළේ ඔවුන් මුහුණ දී සිටින තත්ත්වය ගැන ලියන්නේ නැහැ. සිය වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගැනීම පිණිස වෘත්තීය සමිති වශයෙන් සංවිධානය වීමේ අයිතිවාසිකම සිය මාධ්‍ය ආයතන තුළ අද දක්නට නැහැ. රාජ්‍ය මාධ්‍ය තුළ වෘත්තිය සමිති අයිතිවාසිකම් පිළිගෙන තිබෙන අතර පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ වෘත්තීය සමිති අයිතිවාසිකම ලබා දී නැහැ. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ නිර්ණායකයක් මාධ්‍ය නිදහස පිළිබඳ විශ්ලේෂණයක අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතුයැයි මා අදහස් කරනවා.

මාධ්‍යවේදීන් හා කර්තෘ මණ්ඩල, මාධ්‍ය ආචාරධර්ම කොපමණ දුරට පිළිගන්නේද යන නිර්ණායකයත් වැදගත්. මෙම ආචාරධර්ම පිළිබඳ ඔවුන් කොපමණ දැනුවත්ද කොපමණ භාවිත කරනවාද යන්න අධ්‍යයනය කළ යුතුයි. උදාහරණයක් ලෙසට IFJ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මාධ්‍ය ආචාරධර්ම සාක්කුවේ දමා ගත හැකි කුඩා පොත් පිංචක් ලෙසට මුද්‍රණය කර සිය එදිනෙදා භාවිතය පිණිස ලබා දී තිබෙනවා. නමුත් මාධ්‍යවේදීන් කීයෙන් කී දෙනාද එම ආචාරධර්ම භාවිත කරන්නේ? මාධ්‍ය ආයතනයක් තුළ  මාධ්‍ය ආචාරධර්ම භාවිත කරන්නට පුළුවන්ද?

ස්වයංවාරණ ඇය යෝජනා කරන තවත් දර්ශකයක්. ලියන දේ සහ නොලියා ඉන්න දේ අතර වෙනස. අපි කොපමණ ප්‍රමාණයක් ලියනවාද කොපමණ ප්‍රමාණයක් නොලියා ඉන්නවාද යන ගැටලුව ගැන Lura Schneider  අපගේ අවධානය යොමු කරනවා. මාධ්‍යවේදීන්ගේ සවයං වාරණයත් යම්කිසි මැන බැලීමකට හසු විය යුතුයි.

මාධ්‍යවේදියාගේ භූමිකාව කුමක්ද? සෑම මාධ්‍යවේදියෙකු‌ටම යම්කිසි පෞද්ගලික මත තිබෙනවා. නමුත් සිය මාධ්‍ය භාවිතයේදී එම පෞද්ගලික මත ඉදිරිපත් කිරීම උචිත නොවේ. ඇතැම් මාධ්‍යවේදීන් තමන්ගේ පෞද්ගලික මතයට ගැළපෙන ප්‍රවෘත්ති පමණයි ලියන්නේ. මෙවැනි කාරණා මැන බැලීමේ අවශ්‍යතාවය Laura Schneider විසින් පෙන්වා දී තිබෙනවා. මෙම කාරණා ඉස්මතු කිරීම මගින් පක්ෂපාතිත්වය අවම කර ගැනීමේ පියවරකට යෑමට හැකියාව ලැබෙනවා.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතීන් ගැනත් මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකවලදී අවධානය යොමු කළ යුතුයැයි Laura Schneider සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ යුතුයි. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රාජ්‍ය මාධ්‍ය ආයතන හැර පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් පිළිගෙන නොමැති පසුබිමක මෙම කාරණය නිරීක්ෂණය කිරීම වැදගත්.

ජනමාධ්‍ය වෘත්තිකයින්ට සමාජයේ තිබෙන පිළිගැනීමත් මැන බැලිය යුතු කාරණයක්. ජනමාධ්‍යයේ තිබෙන විශ්වසනීයත්වය වැදගත්. ජනමාධ්‍යවේදීන් ප්‍රකාශ කරන දෑ සමාජය විසින් කොපමණ දුරට පිළිගනු ලබන්නේද යන්න නිරීක්ෂණය කළ යුතු වෙනවා. ජනමාධ්‍ය ප්‍රතික්ෂේප කරන මට්ටම දක්වා ග්‍රාහක සමාජය පෙළඹුණ අවස්ථා තිබෙනවා.

මම කිසිම අවස්ථාවක Lura Schneider  විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ ක්‍රමවේදය අතිශයින් සාර්ථික යැයි ප්‍රකාශ කරන්නේ නැහැ. ඇය ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය පිළිබඳ විවේචන තිබිය හැකියි. නමුත් ඇය ඉදිරිපත් කරනු ලබන ක්‍රමවේදයේ තිබෙන වැදගත් ලක්ෂණය වන්නේ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් නිරික්ෂණය කෙරෙන දර්ශකවලට හසු නොවන, එහෙත් මාධ්‍ය නිදහස කෙරෙහි බලපාන වැදගත් දර්ශක ඇය ඉදිරිපත් කිරීමයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සිය වාර්ෂික වාර්තා සැකසීමේ දී මෙම කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ හැකියි.

මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තා නිකුත් කිරීමේදී ජාත්‍යන්තර මට්ටමින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවලට අමතරව IFJ සංවිධානය දකුණු ආසියානු කලාපය සඳහා වාර්තාවක් නිකුත් කරනවා. මෙරට ජනමාධ්‍යවේදීන් සහ විශ්ලේෂකයින් විසින් සපයන තොරතුරු මත සකස් කරන මෙම වාර්තාව දකුණු ආසියානු කලාපයේ  එක් එක් රටක් සඳහා පරිච්ජේද වෙන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සඳහාද පරිච්ජේදයක් අපට දක්නට පුළුවන්. මෙම වාර්තාවේ දක්නට ලැබෙන එක් වැදගත් ලක්ෂණයක් නම් දකුණු ආසියානු හැඩතලය ප්‍රදර්ශනය වීමයි. මා කලින් පෙන්වා දුන් Afrobarometer වාර්තා මාලාවේ සම්පාදකයින් ඉදිරිපත් කරන එක් තර්කයක් නම් මාධ්‍ය නිදහස පිළිබඳ නිරීක්ෂණය කිරීමේ සංස්කෘතික ගැටලුවක්ද තිබෙන බවයි. එක් සංස්කෘතියක් ලෝකයේ සෑම රටකටම ගැළපිය නොහැකි බව ඔවුන් පෙන්වා දෙනවා. IFJ දකුණු ආසියානු වාර්තාවේ ආසියානුකරණය පිළිබඳ අදහසක් ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරන විට මෙම ආසියානුකරණය පිළිබඳ අදහස වැදගත්. ශ්‍රීලංකාවේ සුවිශේෂ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් වගේම මාධ්‍ය සංස්කෘතියද යම්කිසි ආකාරයකින් සැලකිල්ලට ගත යුතුයැයි යෝජනා කළ හැකියි. මෙය දැනටමත් බොහෝ අවස්ථාවලදී ක්‍රියාත්මක වනු දක්නට පුළුවන්. උදාහරණයක් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් ජනමාධ්‍යවේදීන් සඳහා ලොව ජනමාධ්‍ය අධ්‍යාපන විශේෂඥයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාධ්‍ය පාඨමාලාවක් සකස් කරනු ලැබුවා. එම වාර්තාව සකස් කිරීමෙන් පසු එය එක් එක් භුගෝලීය කලාපවලට එම කලාපයන්හි සුවිශේෂ අවශ්‍යතාව අනුව සකස් කර ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහන් කළ හැකියි. පිලිපීනය කේන්ද්‍ර කොට පිහිටුවා ඇති Asian Media Information and Communication Centre (AMIC) ආයතනය එම වාර්තාව ආසියානුකරණය කළා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සකස් කරන මෙම වාර්තාවත් යම්කිසි ක්‍රමයකට දේශිය තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කිරීම උචිතයැයි යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතයේ ස්වභාවය මෙම වාර්තාවෙන් පිළිබිඹු විය යුතුයි. මෙරට දේශපාලන කතිකාව තුළ මාධ්‍ය නිදහස පිළිබඳ ගැටලුව පළමුවන අංක අතර පෙන්නුම් කරයි. පාර්ලිමේන්තු මැතිවරණවලදී මෙන්ම ජනාධිපතිවරණයේදීත් මාධ්‍ය නිදහස පිළිබඳ කතිකාව ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙනවා.

අවසාන වශයෙන් තව එක් අදහසක් ඉදිරිපත් කිරීමට කැමතියි. මාධ්‍ය නිදහස පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු දැක්වීමෙන් ඔබ්බට යා යුතුයි. සාමාන්‍යයෙන් ඝාතනය කිරීම්, පහරදීම, අඩන්තේට්ටම් කිරිම් වැනි සිදුවීම් සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන පමණක් දැක්වීමෙන් ඔබ්බට යා යුතුයි. 1981 දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පයෙකු ඝාතනය වූ අවස්ථාවේ සිට මේ දක්වා සෑහෙන මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය වී තිබෙනවා. මෙම ඝාතනයන් පිළිබඳ යුක්තිය පසිඳලීමේ කටයුතු පරීක්ෂා කර බැලීමේදී මෙල් ගුණසේකර මාධ්‍යවේදිනියගේ ඝාතනය පමණයි අධිකරණ කටයුතු අවසන් කරනු ලැබුයේ. ඇය 2014දී ඝාතනයට ලක් වූ අතර 2017 වන විට යුක්තිය  පසිඳලීමේ කටයුතු අවසාන විය. නමුත් ඇය ඝාතනයට ලක් වූයේ සිය වෘත්තීය භාවිතය නිසා නොව සිය සේවය නිම කොට නිවසට පැමිණි අවස්ථාවේ නිවස තුළ සිට සොරකු විසින්  එල්ල කළ ප්‍රහාරයකින්. සිය මාධ්‍ය වෘත්තිය නිසා ඝාතනය වූ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් එවැනි අධිකරණ කටයුතු අවසන් වීමක් වාර්තා වන්නේ නැහැ.

මේ නිසා ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ මාධ්‍ය දර්ශකය සකස් වීම අත්‍යවශ්‍ය කාරණයක් යැයි මා සිතනවා.

ස්තුතියි.